Cart empty

බසින් බස හඳුනා - හදින් හද බැඳෙමු

1948 පෙබරවාරි 04 වන දින ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලනයෙන් මිදී අදීන චින්තනයකින් හෙබි ස්වාධීන දේශයක් ලෙස තම දේශපාලන කටයුතු සිදු කරගෙන යාමේ මහඟු භාග්‍යය ශ්‍රී ලාංකිකයන්ට උදා විය. ඒ වන විට භාෂානුරාගී අදහස් වලින් කුළුගැන්වී සිටි ජන සමාජය රටේ පරිපාලන කටයුතු ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරගෙන යාම කිසිසේත්ම අනුමත නොකළහ.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සිදු වූ වැදගත් පියවරක් ලෙස මුලින්ම හඳුනාගත හැක්කේ 1951 මැයි 23 දා සාමාජිකයන් තිදෙනෙකුගෙන් යුතු රාජ්‍ය භාෂා කොමිෂන් සභාවක් පිහිටුවීමයි. එහි සභාපතිවරයා ආතර් විජයවර්ධන මහතා වූ අතර,  ජී.සී. විල්ලවරායන්, ජේ.ද. ලැනරෝල් හා ආචාර්ය නන්දදේව විජේසේකර (ලේකම්) යන විද්වතුන්ගෙන් එය සමන්විත විය. රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම අරභයා කරුණු සොයා බැලීමට පත් කරන ලද “සිංහල හා දෙමළ, රාජ්‍ය භාෂා කිරීම පිළිබඳ 1946 කාරක සභා වාර්තාවේ” යෝජනා පදනම් කර ගනිමින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට කමිටුව 1953 දී නිකුත් කළ අවසාන සැසි වාර්තාව අනුව තීරණය විය.

ඒ අනුව එවකට මුදල් අමාත්‍යාංශයේ විශේෂ ඒකකයක් ලෙස පවත්වාගෙන ගිය ´රාජ්‍ය භාෂා කාර්යාංශය`, 1955 ඔක්තෝබර් 01 දා සිට ස්ථිර, වෙනම දෙපාර්තමේන්තුවක් ලෙස පත් කරන ලද අතර, එතැන් පටන් එය රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව නමින් හැඳින්විය. රාජ්‍ය භාෂා කොමිෂන් සභාව 1953 නිකුත් කරන ලද xxii සැසි වාර්තාවේ මේ පිළිබඳ විස්තර ඇතුලත් වේ.

1956 භාෂාව සම්බන්ධයෙන් තීරණාත්මක වර්ෂයකි. 1956 ජූනි 05 දින එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා විසින් රාජ්‍ය භාෂා ව්‍යවස්ථා කෙටුම්පත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඉදිරිපත් කළ අතර 33 දරන රාජ්‍ය භාෂා පනත සම්මත විය. එමගින් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව බවට පත් කෙරුණු අතර, 1960 දෙසැම්බර් 31 දක්වා අවශ්‍ය වන පරිදි මෙතෙක් භාවිත කළ භාෂාවන් යොදා ගැනීමට විධි විධාන සලස්වනු ලැබීය. මෙයට අමතරව, දෙමළ භාෂා භාවිතය අරබයා පැන නැඟී තිබුණු ගැටලු විසඳීම සඳහා 1958 අංක 28 දරන දෙමළ භාෂා (විශේෂ විධි විධාන) පනත, පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම ද විශේෂ වැදගත්කමකින් යුත් කරුණක් බව සඳහන් කළ හැකිය.

වර්තමානයේ පවත්නා රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ආරම්භ කරනු ලැබුවේ 1956      අගෝස්තු 12 දා ය. ඉහත පනත පැනවීමෙන් පසු රාජ්‍ය භාෂා සම්බන්ධ සියලු කරුණු ගරු අගමැතිතුමාගේ (එවකට එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ) විෂය පථයට ඇතුලත් කරනු ලැබී ය. ඒ වන තෙක් පැවති රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වූයේ මුදල් අමාත්‍යාංශය යටතේ ය. එසේම එකල පැවති ස්වභාෂා දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක විය. 1956 ඔක්තෝබර් 01 වන දින මෙම දෙපාර්තමේන්තු දෙකම ඒකාබද්ධ කර රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව ලෙස අගමැතිවරයාගේ විෂය පථය යටතට පත් කරන ලදී.

1956 රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව පිහිටුවීමෙන් අනතුරුව එහි කටයුතු පවත්වාගෙන යාම සඳහා විශේෂ කොමසාරිස්වරයෙකු ලෙස එල්.ජේ.ද එස්. සෙනෙවිරත්න මහතා පත් කෙරුණි.

වර්තමානය වන විට රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වඩාත් පුළුල් වී ඇත. රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මඟින් සිදු  කරනු ලබන කාර්යයන්වල ප්‍රමුඛ ස්ථානයක් ගනුයේ රාජ්‍ය නිලධාරීන් සඳහා භාෂා ප්‍රවීණතා විභාගය පැවැත්වීමය. එහිදී පැවති විභාග ක්‍රමවේදයන් වෙනුවට නවීන තාක්ෂණය තුළින් විධිමත්වූත් නිවැරදි භාෂා භාවිතයන් යටතේ භාෂා ප්‍රවීණතාව මැන බැලීමට හැකියාව අද වන විට ලැබී තිබේ. දෙපාර්තමේන්තුගත භාෂා පර්යේෂණ හා ග්‍රන්ථ ප්‍රකාශන ඒකකය මඟින් චක්‍රලේඛානුකූලව රාජ්‍ය නිලධාරීන් සඳහා හඳුන්වා දී ඇති මට්ටම් හතර උදෙසා නව විෂය නිර්දේශයන්ට අනුව පෙළපොත් සැකසීම සිදු කර තිබේ.

රජයේ නිල පරිවර්තකයා වශයෙන් විශ්වීය දැනුම ලබා ගනිමින් මොරටුව විශ්ව විද්‍යාලය හා සබැඳෙමින් තාක්ෂණ උපයෝගයන් පරිවර්තන කටයුතු සඳහා යොදා ගනිමින් කාලීනව හා ඉතා කෙටි කාලයක් තුළ පරිවර්තනයන් සිදුකර ගැනීමට අදාල අවකාශයන් සලසා දී තිබේ. භාෂාවේ නවමු සන්ධිස්ථාන ගවේෂණය කරමින් එහි අරුත් ගැන්වීම උදෙසා සිංහල, දෙමළ හා සන්ධාන භාෂාවෙහි වචන ගලපා ඊට අරුත්බර වචන උත්පාදනය කොට ත්‍රෛභාෂා ශබ්දකෝෂයක් නිර්මාණය කිරීම ද වර්තමානය වන විට සිදු කර තිබේ. 

Last Update: 27-12-2016
BACKTOTOP